ජුනි මාසයේදීත් සංචාරක පැමිණීම පහළ අගයක්

0
20

2019 ජූනි මාසයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 63,072ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙය 2018 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 146,828ට අනුරූපව 57%ක පහළ වැටීමකි.

ඒ අනුව මේ තත්ත්වය අප්‍රේල් 21 වැනිදා එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව පිට පිට තෙවැනි මාසයටත් සංචාරක පැමිණීම් කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්වා තිබේ. එහෙත් මෙහිදී මැයි මාසයට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ යම් නැගී සිටීමක්ද පෙන්නුම් කරයි. මැයි මාසයේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 37,802කි. අධිකාරියේ වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම්හි පහළ වැටීම 7.5%ක් ලෙසත්, මැයි මාසයේදී එම පහළ වැටීම 70.8%ක් ලෙසත් සඳහන්ව තිබුණි.

ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් අතරින් 54%ක්ම ආසියා පැසිපික් කලාපයේ සංචාරකයන්ය. එසේම යුරෝපා සංචාරකයන් 32%ක්, ඇමෙරිකානු සංචාරකයන් 9෴ක්, මැදපෙරදිග සංචාරකයන් 4%ක් සහ අප්‍රිකානු සංචාරකයන් 1%ක් යනාදී ලෙස මෙරටට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් අද පුවත්පත කළ විමසීමකට අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා, &පසුගිය මැයි මාසයේදී දෛනික සංචාරක පැමිණීම් 1,200ක් දක්වා අඩු වුණා. ජුනි මාසය ආරම්භයත් එකක්ම එය සංචාරකයන් 2,000 දක්වා වර්ධනය වෙලා පසුව ජූනි මාසය අවසන් වනවිට 2,5000ක මට්ටමට පත්වුණා.* යනුවෙන් පවසා සිටියේය.
2019 ජූනි මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි රට වන්නේ ඉන්දියාවයි. එය සමස්ත පැමිණීම්වලින් 24%ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. එහිදී සංචාරකයන් 15,048ක් පැමිණ ඇති අතර ඉන් 14,565ක් ගුවනින්ද, 483ක් සාගරයෙන්ද මෙරටට පැමිණ තිබේ. එහෙත් පසුගිය වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව 32,971ක් විය.
පසුගිය වසරේ ජුනි මාසයට අනුරුපව මේ වසරේ ජූනි මාසයේදී බ්‍රිතාන්‍ය, චීන, සෞදි අරාබි සහ ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ පැමිණීම් පිළිවෙළින් 63.9%කින්, 82.9%කින්, 72.3%කින් සහ 55.9%කින් අඩුවී ඇත.

2019 වසරේ ජූනි මාසය දක්වා වූ සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,008,449ක් ලෙස වාර්තා වී තිබේ. එහෙත් පසුගිය වසරේ මෙම කාලසීමාවේදී සංචාරක පැමිණීම් 1,146,647ක් ලෙස සටහන්ව තිබුණි. ඒ අනුව මෙය පසුගිය වසරට අනුරූපව මුල් මාස හයේදී 13.4%ක අඩුවීමක් බවද අධිකාරිය වැඩිදුරටත් පවසයි. පසුගිය වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2,333,796ක් ලෙස සටහන් විය. දැනට පවතින මෙම සංචාරක පැමිණීම්හි අඩුවීම ලබන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී යම් තරමකින් ප්‍රකෘතිමත් වෙනු ඇතැයි රජයේ අපේක්ෂාව වී තිබේ.