වල්ලපට්ටා සමග කටුනායකදී අත්අඩංගුවට

0
482

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ මගී පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

ඊයේ(01) දින රාත්‍රී මෙසේ අත්අඩංගුවට පත් මොහු 21 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ දින රාත්‍රී 9.10 ට ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9 ඩබ්ලිව් 0251 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි හරහා ඩුබායි වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් ලක්ෂ 12 ක් වටිනා මෙම වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 27 ක ප්‍රමාණය සඟවා ගෙන තිබී, රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මේවා මෙසේ විදේශයන් වෙත රැගෙන යෑම නීතිවිරෝධී වේ.

ඩුබායි හි මෙම වල්ලපට්ටා සඳහා හොඳ වෙළෙඳ පොළක් පවතින අතර, එයට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දුනීසියාව වැනි රටවලින් ද වල්ලපට්ටා රැගෙන විත්, එහි සුවඳ විළවුන් නිෂ්පාදන කර්මාන්තශාලා වෙත ඉතා ඉහළ මිල ගනන් වලට අලෙවි කරන බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය, එච්.ටී.පී.ද.සිල්වා, රේගු අධිකාරීවරුන් වන හේමමාලී කරුණාරත්න, හර්ෂි වික්‍රමසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.පී.පී.ලංකා, යූ.ජී.එම්.එච්.බී.ජයසිංහ, ඩී.ආර්.එස්.බී.දසනායක, ඩී.ආර්.කන්නන්ගර සහ ටී.එස්.සේනානායක යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තිස්ස ප්‍රියන්ත ද සිල්වා මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කර මේවා රැගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.