ඇෆ්ගන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායක ගුවන් ප්‍රහාරයකින් මරුට

0
256

ඇෆ්ගනිස්ථානයේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු සාද් එර්හාබි ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගන් ආරක්ෂක අංශ තහවුරු කරයි.

පසුගිය සෙනසුරාදා දිනයේ පාකිස්තාන දේශසීමාවේ වූ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ සිදුකළ මෙහෙයුමක් අතරතුර ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෑත කාලය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ජ්‍යේෂ්ඨ නායකයන්ගෙන් ඝාතනයට ලක්වූ සිව්වැනි නායකයා ලෙස ඔහු සැලකෙයි.

2014 වසරේ සිට ඇෆ්ගනිස්ථානය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් පවතින අතර, පසුගිය කාලය පුරා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර කිහිපයක්ම ඔවුන් විසින් රට පුරා දියත් කරනු ලැබිණි.

ඔවුන් ඇෆ්ගනිස්ථානය තුළදී ඛොරාසාන් ඉස්ලාම් රාජ්‍ය යන නාමයෙන්ද තම කණ්ඩායම හඳුනාගනු ලැබූ බව ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය සමග ඒකාබද්ධව සිදුකළ ගුවන් හා ගොඩබිම් මෙහෙයුමක් අතරතුර, එර්හාබි ඝාතනයට ලක්වූ ගුවන් ප්‍රහාරය එල්ල වූ බව කාබුල් ආරක්ෂක අංශ ප්‍රධානියා පවසයි.

කෙසේ වෙතත්, මෙම මරණය ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් තහවුරු කර නැති අතර, ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඉලක්ක කර අදාළ පළාතේ මෙහෙයුමක් සිදුකළ බව පමණක් ඔවුන් සඳහන් කර තිබේ.

මීට පෙර ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායකයා ලෙස කටයුතු කළ අබු සයේඩ් 2017 ජූලි මාසයේදී ඇමෙරිකාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේ කුනාර් පළාතේ ත්‍රස්ත සංවිධානයට අයත් මූලස්ථාන ගොඩනැගිල්ලක් තුළදීමය.