ෆයිසර් කොවිඩ් එන්නත අනුමැතියට ඉදිරිපත් කිරීමට සූදානම්

0
11

කොවිඩ් වෛරසයට ප්‍රතිකර්මයක් ලෙස ෆයිසර් සමාගම නිපදවූ එන්නත, අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ හදිසි අනුමැතිය ලබා ගැනීම සඳහා යොමුකිරීමට සූදානම් කර ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

එම එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම හා එක්වයි.

ලොව පුරා සිදු කෙරෙන මූලික අදියරේ පරීක්ෂණවලදී කොවිඩ් වෛරසයට එරෙහිව යොදාගත හැකි එන්නත් කිහිපයක් සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන බව මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ අතරින් මිනිසුන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුට කොවිඩ් 19 වැළඳීම වළක්වා ගත හැකි බව සනාථ වූ ෆයිසර් සමාගමේ එන්නත අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ හදිසි අනුමැතිය ලබාගැනීම සඳහා යොමුකිරීමට සූදානම් කර ඇතැයි සමාගමේ ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා ඊයේ ප්‍රකාශ කළේය.

ඔහු පවසන්නේ මේ වනවිට එන්නතේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට ප්‍රමාණවත් තරම් දත්ත එක්රැස් කර අවසන් බවය.

“මම හිතන්නේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නවලට විශාල වශයෙන් පිළිතුරු ලැබිලා තියෙන්නේ. සුරක්ෂිතභාවය පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් මතු නොවීම හේතුවෙන්, අපි දැන් එන්නත හදිසි අනුමැතිය සඳහා යොමුකිරීමට සූදානම්වෙමින් ඉන්නේ”.

මේ අතර, ඊයේත් ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ අමෙරිකාවෙන් වන අතර එය 157,261 කි. දෛනික මරණ 1,615 ක් ලෙස සටහන්ව තිබුණි.

මේ අතර අමෙරිකාවේ වයස්ගතම සෙනෙට් සභිකයා ලෙස සැළකෙන රිපබ්ලිකන් පක්ෂයේ 84 හැවිරිදි චක් ග්‍රාස්ලි ටද කොවිඩ් ආසාදනය වී තිබේ.

මාස හතකට වැඩි කාලයකට පසු නව කොවිඩ් ආසාදිත පොකුරක් වාර්තා වීම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියාව දින 6 කට වසා දමා තිබේ.