හලාවත මහ රෝහලේ කොවිඩ් යැයි සැක සහිත පුද්ගලයෙකු මියයයි

0
128

හලාවත මහ රෝහලේ සැක සහිත කෝවිඞ් ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ අයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි නුගේගොඩ නන්ද මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඩුබායි සිට පසුගිය 02 වනදා මෙරටට පැමිණ ඇති ඔහු නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ හලාවත පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකටයි.

නිරෝධායනය වෙමින් සිටි එම පුද්ගලයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාති‍්‍රයේ හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අළුයම මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල පී සී ආර් පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පුද්ගලයාට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

මේ අතර, විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 39 දෙනෙකු ඊයේ දිනයේදී නව්‍ය කොරෝනා ආසාදිතයින් ලෙස හ`දුනාගෙන තිබෙනවා. ඒ අතරින් 16 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,234 ක්. ඒ අතරින් 2,996 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති අතර, කොරෝනා ආසාදිතයින් 226 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.