සාවද්‍ය ප්‍රචාරයන් ගැන ජනමාධ්‍ය ඇමතිගෙන් දොස්

0
276

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බනධයෙන් තොරතුරු දන්නා බව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මාධ්‍ය කිහිපයක අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් ඝාතන කුමන්ත්‍රණයක් පවතින බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අදාළ ඉන්දීය ජාතිකයා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ලබාගත් තීන්දුව පදනම් කරගනිමින් ඇතැම් මාධ්‍ය වල පළවූ ප්‍රවෘත්ති අසත්‍ය බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක ඝාතන තැතක් ඇතැයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව මංගල සමරවීර මහතා පවසයි.

අදාළ සිද්ධිය ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් වන බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි විමර්ශනයක් සිදුකළ යුතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේවෙතත් තහවුරු කිරීමකින් තොරව මෙවැනි බරපතළ කරුණු පළ කිරීමට සමාව දිය නොහැකි බව ද මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා සම්බන්ධයෙන් මෙරෙට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පදනම් කරගෙන ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම පුද්ගලයා 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙකු බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.