ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගය අද

0
53

වසර 6කට පසු කොදෙව්වන්ට එරෙහි පූර්ණ තරගාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව අද සටනට

වසර 6කට පසු කොදෙව්වන්ට එරෙහිව පූර්ණ තරගාවලි ජයක අපේක්ෂාවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන ‘සෝබර්ස් – තිසේරා’ කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් අද (29 වනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ඉකුත් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අවසන් වූ අතර එම තරගයෙන් ලකුණු 187ක විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකාව සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ පසුවීම විශේෂත්වයකි.

මෙම දෙවැනි තරගය සඳහා යොදා ගන්නා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කරන්නට තේරීම් කමිටුව පියවර ගෙන ඇතැයි වාර්තා වේ. තරගාවලියේ පළමු තරගයට කැඳවා සිටි ක්‍රීඩකයන් 5දෙනෙකු මෙලෙස දෙවැනි තරගයේදී විවේක ගැන්වීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.

ඒ අනුව දුෂ්මන්ත චමීර, සුමින්ද ලක්ෂාන්, කමිල් මිෂාර, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා මෙලෙස සංචිතයෙන් ඉවත් කර ඇති අතර නිමාවූ ටෙස්ට් තරගාවලි කිහිපයේදීම රොෂේන් සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීම විශේෂත්වයකි.

මේ අතර නිමාවූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මුල් පෙළ පිතිකරුවකු ලෙසින් ලකුණු අතරට පැමිණි චරිත් අසලංක අද තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිත බවට වාර්තා වන අතර යම් හෙයකින් ඔහු ටෙස්ට් වරම් ලදහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ 157 වැනි ක්‍රීඩකයා ලෙසින් චරිත් ඉතිහාස ගතවනු ඇත.

ඊයේ(27 වැනිදා) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ අවසන් පුහුණුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇති අතර ඔහු අද තරගයට ක්‍රීඩා කරන්නේද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කර නොමැත.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා තිබෙන ටෙස්ට් තරග 35කින් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 57.1ක් වශයෙන් දැක්වේ. වර්ෂාව හේතුවෙන් ඉකුත් තරගයේදී කඩින් කඩ තරගයට බාධා එල්ල වූ අතර මෙම තරගයටද කාලගුණයේ සුළු බලපෑමක් සිදුවීමට ඉඩ පවතී.

• ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, චාමික ගුණසේකර

•බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට් (නායක), ජෙරමයින් බ්ලැක්වුඩ්, කෘමා බොනර්, රොස්ටන් චේස්, රකීම් කොන්වෝල්, ජොෂුවා ද සිල්වා, ශැනන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, ශායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමි පර්මෝල්, කීමර් රෝච්, ජෙයිඩ්න් සීල්ස්, ජෙරමි සොලොසානෝ, ජොමෙල් වොරිකන්