ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

0
16

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබේ.

අද අලුයම 3.35 ට කටාර් ගුවන් සේවයේ QR – 669 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචාරය සඳහා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.

කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණීමෙන් පසු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතැන් සිට වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟාවීමට නියමිත ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව පත්කර තිබේ.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්නව පත්කිරීමට පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

විස්සයි 20 නායකත්වයට පත් දසුන් ශානක මීට පෙර 2019 වසරේ පාකිස්තානයේ පැවති තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවූ අතර එම තරගාවලිය 3- 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් විය.

තරුණ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත මූලික සංචිතය සඳහා වේග පන්දුයවන ළහිරු කුමාර ඇතුළත්ව සිටියද කොවිඩ් වෛරසය ආසාදනයවීම මත තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ඔහුට අහිමි විය.

ළහිරු කුමාර වෙනුවට වේග පන්දුයවන සුරංග ලක්මාල්ව නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.