ශ්‍රි ලංකන් ගුවන් සේවය කිසිසේත් විකුණා දමන්නේ නෑ – ප්‍රසන්න

0
610

ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණා නොදමන බවත්, පාඩුව අවම කර ආයතනය දියුණු කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ස්වභාවික මරණයකට ලක් කර එය ඈවර කිරිමට උත්සාහ කළ බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්විමත් සමග එය අත්හිටවු බව රණතුංග මහතා පැවසීය.

අද (30) කටුනායක ශ්‍රිලංකන් ගුවන් සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

“ඇමතිවරයා සහ ආයතනයේ විධායක නිලධාරින් වෘත්තිය සමිති නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ද මෙහිදි පැවැත්විණ. මෙහිදි අනාවරණය වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ රජය සමයේ ලැබු පාඩුව රුපියල් බිලියන 76 ක් බවයි. කෙසේ වෙතත් 2015 – 2019 යහපාලන ආණ්ඩු කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 115 ක් බව ආයතනයේ මුදල් වාර්තා අනුව තහවුරු වන්නේ යැයි ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2015 වසරේ දි රුපියල් බිලියන 16 ක්, 2016 දි රුපියල් බිලියන 12ක්, 2017 වර්ෂයේ දි රුපියල් බිලියන 28ක්, 2018 වර්ෂයේ දි රුපියල් බිලියන 17 ක් පාඩු ලබා ඇති අතර 2019 වසරේ එම සමාගම ලැබු පාඩුව රුපියල් බිලියන 40 ක් බව ද මෙහිදි අනාවරණය විය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදි ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සදහා සැලැස්මක් ක්‍රියාත්මක වුවද පසුගිය වසර 05 ක කාලය තුළ ඒ සදහා කිසිදු වැඩපිළිවෙලක් හෝ සැලැස්මක් ක්‍රියාත්මක නොවු බව වෘත්තිය සමිති නායකයෝ මෙහිදි පෙන්වා දුන්හ. මෙම සැලැස්ම ක්‍රියාත්මක වු 2014 වසරේ, ඊට කලින් වසරේ (2013) බිලියන 32 ක් වු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 16 ක් දක්වා අඩු කරගෙන තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ ඔහුගේ භාවිතයට අධිසුඛෝපභෝගි ගුවන් යානා අභ්‍යන්තර කට්ටලයක් ගෙන ආ බවට පසුගිය රජය කළ ප්‍රචාරයද පට්ටල් බොරුවක් බව වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදි පෙන්වා දුන්හ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මිලදී ගත් ගුවන්යානා වෙනුවෙන් අදාළ සමාගම එය නොමිලේ ලබා දී තිබුණි. එම ගුවන් යානා මිලදි ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සදහා එම සමාගම පැවති රජයට කොන්දේසි තුනක් පනවා තිබූ අතර ඉන් පළමු කොන්දේසිය වුයේ ඇමරිකානු ඩොලර් බිලියන 110 ක වන්දියක් ගෙවීමයි. එවකට අලුත් ගුවන් යානයක මිල වූයේ ද ඇමරිකානු ඩොලර් බිලියන 138 කි. පසුගිය ආණ්ඩුව එකඟ වූ තවත් කොන්දේසියක් වූයේ පෘතුගාල් ගුවන් සේවය නිරන්තරයෙන් භාවිතා කළ ගුවන් ගමන් සදහා නුසුදුසු තත්ත්වයේ පැවති ගුවන් යානයක් මාසිකව ඩොලර් මිලියන 585,000 කට කුලියට ගැනීමයි. එම ගුවන් යානය මගී ප්‍රවාහනය සදහා කිසිසේත් නුසුදුසු බවත්, ශ්‍රී ලංකන් සමාගමේ ප්‍රතිරුපය බිද වැටීමට එය ඉහවල් වූ බවත් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණරත්න මහතා මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්නේ මෙම ගුවන්යානයේ නවීකරණ කටයුතු දැන් ආරම්භ වී ඇති බවයි. නිරීක්ෂ චාරිකාවේ දි එම ගුවන්යානයද නිරීක්ෂණය කළ ඇමතිවරයා එහි නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙම ආයතන ලාභ ලබන ආයතන බවට පත් කීරීම සදහා පහළම සේවකයාගේ සිටි ඉහළම සේවකයා දක්වා වූ අයගේ අදහස් හා යෝජනා ඉතා වැදගත් බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඒ සදහා ඉදිරිපත් වන්නැ‘යි සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. පැවති රජය අනුගමනය කළ විවිධ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම සමාගම කඩා වැටි ඇති බව පැවසූ රණතුංග මහතා එය ගොඩගැනීමට රජයට මෙන්ම සේවකයින්ටද උවමනාවක් තිබිය යුතු” බවද පැවසීය.