වී මිලදී ගැනීමට ගබඩා 55ක් විවෘතයි

0
22

යල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්‍රික්ක කිහිපයක අවසන්ව තිබේ. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක වී අස්වනු නෙලීම ආරම්භ ව පවතී.නමුත් තවත් දිස්ත්‍රික්ක ගණනාවක තවමත් වී අස්වනු නෙලීම ආරම්භ වී නොමැත.

නමුත්  තම වි අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවි ජනතාව විසින් නඟන චෝදනා සම්බන්ධව අවධානය යොමු කරමින් අවම මිලක් යටතේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 120ක්, සම්බා වී කිලෝග්‍රෑම් 01ක් රුපියල් 125ක් හා කීරි සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 130ක් වශයෙන් අවම මිලකට මිල දී ගැනීමට මිල කමිටුව විසින් තීරණය කළේය.

දැනට වෙළෙඳපොලේ වී මිල රුපියල් 100ට වඩා අඩුවෙන් පවතින බැවින් ගොවීන්ගේ වී අස්වනු අඩු මිලට ගැනීමට ඇතැම් කූඨ වෙළෙදුන් කටයුතු කරන බැවින් ඔවුන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගනු ලැබිනි.

ඒ අනුව ඊයේ (17) දින සිට වී මිල දී ගැනීමට නියමිතව තිබුනත් වී මිල දී ගැනීම සඳහා පවතින ගැටළු ඊයේ දිනය තුළ අවසන් කර ගන්නා ලෙසත්, විදිමත් පරිදි වි මිල දී ගැනීම අද දින (18) සිට ආරම්භ කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව අද පෙරවරුවේ  ඒ සම්බන්ධව විමසීමක් අමාත්‍යවරයා විසින් කරනු ලැබීය.

ඒ අනුව අද දිනය තුළ දිස්ත්‍රික්ක 24ක වී මිල දී ගැනීම සඳහා තිබෙන වී ගබඩා 357ක් අතරින් 55ක් විවෘතව තබා ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පැවසීය.

මෙම ගබඩා විවෘත තබන්නේ ඒවා පිහිටි දිස්ත්‍රික්කවල වී අස්වනු මේ වන විට නෙලා අවසන්ව ඇති හෙයින් සහ අස්වනු නෙලීම ආරම්භව ඇති බැවිනි. නමුත් අනිකුත් දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම ආරම්භ වන ආකාරයට එම දිස්ත්‍රික්කවල වී ගබඩාද විවෘත කිරීමට පියවර ගැනේ.

ඒ යටතේ කුරුණෑගල 02ක්, පුත්තලම 02ක්, ත්‍රිකුණාමලය 02ක්, මඩකලපුව 04ක්, අම්පාර 10ක්, අනුරාධපුර 25ක්, මාතලේ 01ක්, ත්‍රිකුණාමලය 01ක්,කිලිනොච්චි 02ක්, වවුනියාව 02ක්, මුලතිව් 03ක්, පොලොන්නරුව 01, වශයෙනි.

මේ වනවිටත් අම්පාර ප්‍රදේශයේ ගබඩාවල වී මිල දී ගැනීම සිදුවන බව ද සභාපතිවරයා පවසයි.

රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වැය කරන බවත්, දැනට නියම කර ඇති මිලට වඩා ගොවීන්ට ඊට වඩා ඉහළ මිලකට වී අලෙවි කිරීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා සඳහන් කළේය.