විවාහයට පෙර මට දරුවෙක් හදාගන්න කැමතියි.

0
29

“මං වයස යනවා විවාහය පමාවෙනවා කියල කිසි ලෙසකින් හිතන්නෙ නෑ. විවාහයට පෙර මට දරුවෙක් අරන් හදාගන්න තත්ත්වයක් තිබ්බොත් ඒකටත් මම කැමතියි. කිසිම දෙයකට හදිස්සියක් නැහැ.”

පසුගිය දිනෙක පුවත්පතකට එසේ පවසා ඇත්තේ චුලක්ෂි රණතුංග (Chulakshi Ranathunga) යි. ඇය කලාවට පැමිණියේ දේදුනු ආකාසේ චිත්‍රපටයෙනි. Miss Sri Lanka තරගයෙන් 2014 වසරේදී චුලක්ෂි වසර 2කට පසුව සිනමාවට එක්විය.

ඇය තමන්ගැන පසු දිනක පුවත් පතකට පවසා ඇත්තේ මෙලෙසිණි.

මම කලාවට පුංචි කාලේ ඉඳන්ම ආසයි. හැබැයි ඒ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නනම් කොහෙත්ම මගේ හිතේ ආසාවක්වත් හීනයක්වත් තිබුණේ නැහැ. මගේ අයියා පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඒ නිසා මමත් පුංචි කාලේ ඉඳන්ම පැසිපන්දු ක්‍රීඩාවටයි වැඩිපුරම නැඹුරුවෙලා හිටියෙ. විෂයන් තෝරාගනිද්දී මම මුලින්ම හිතුවේ බාස්කට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන්, කණ්ඩායම් තරගවලට ඉදිරිපත් වෙන්න පුළුවන් විෂයක් තෝරාගන්නයි. ඒ නිසා මම විෂයක් විදිහට වාණිජ අංශයයි උසස් පෙළ කරන්න තෝරාගත්තෙ. එහෙම කරලා බැංකු ක්ෂේත්‍රය තුළින් බාස්කට්බෝල් කණ්ඩායමට සම්බන්ධ වෙන්න මගේ ආසාවක් තිබුණා. අවසානයෙදී හීනෙන්වත් බලාපොරොත්තු නොවුණු ක්ෂේත්‍රයකට මාව යොමු වුණා.

මම හැදුණෙ පහසුකම් බොහොමයක් තියෙන පරිසරයක නෙමේ. මම ඉගෙන ගත්තෙ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයෙන්. මුලින්ම ප්‍රින්සිපල් මැඩම්ගෙ ගෙදර නතරවෙලයි මම පාසල් ගියේ. හය වසරේ ඉඳන් හොස්ටල් එකේ නතරවෙලයි ඉගෙන ගත්තෙ. මම කුඩා කාලෙදීම ගෙවල්වලින් ඈත්වුණු වේදනාවත් එක්ක හැදුණු කෙනෙක්. ඒ නිසාමයි මම ක්‍රීඩාවටත් වැඩිපුර නැඹුරු වුණේ. ඉස්කෝලෙ පන්ති කාමරේ වැඩ කරන කාලයට අමතරව බොහෝ වෙලාවක් මම වැඩිපුරම කාලය ගත කළේ පාසල් පිට්ටනියේ. හොස්ටල් එකේදී හැමදේකටම සීමාවක් තිබුණා. රූපවාහිනිය නැරඹීමට පවා පැයක වෙලාවක් පමණයි වෙන්වෙලා තිබු‍‍ණේ. ඒ නිසා හැමවෙලේම කාලසටහනකට අනුව අපේ ජීවිත හැඩගැහිලා තිබුණා. දොළහ වසර වෙනතුරූ වෙන කෙනෙකුගේ කාලරාමුවකට කොටු වුණු ජීවිතයක් තමයි මට තිබුණේ. විය යුතුයි කියන රාමුව ඇතුළෙ තමයි මගේ ජීවිතේ වැඩිපුරම කාලය ගෙවුණේ.

මම පාසල් යන කාලේ නිරුපණ ක්ෂේත්‍රයට විශේෂ කැමැත්තක් තිබුණෙ නැහැ. අඩුම තරමේ මට මගේ මුහුණේ පැහැය ගැනවත් උනන්දුවක් තිබුණෙ නැහැ. මම ඉස්සර හරියට පිරිමි ළමයෙක් වගෙයි. හරිම සැහැල්ලුවෙන් හිටියෙ. මමයි අයියයි දෙන්නම එකම විදිහට තමයි කලිසම් පවා ගත්තේ. මට ගැහැනු ළමයෙක් වගේ සාය හැට්ට ඇඳලා ඉන්න ලොකු ආසාවක් තිබුණෙ නැහැ. මම හැමවෙලේම හිතුවෙ මම ක්‍රීඩිකාවක් කියලයි. සමහර වෙලාවට මට හිතෙන්නෙ මම කැතයි කියලයි. මට මම කියන කෙනාව නිරූපණය කරන්න ඕන වුණේ නැහැ. මම මාර කඩිසරයි. ඒ නිසා මට ක්‍රීඩිකාවක් කියන කෙනාව පෙන්නන්න විතරයි ඕනවෙලා තිබුණෙ. මට නිරූපිකාවක් විදිහට ලස්සනට අඳින්න ඕන කියන අදහස ආවේ උසස් පෙළ කළාට පස්සෙයි. මගේ ජීවිතේ මටම අභියෝගයක් තිබුණා. ඒ අභියෝගයත් එක්ක තරගයකට අයදුම්පත් දාලා සහභාගි වෙන්න ඕන කියලා හිතුණා. ඒ කාලේ මට නිරූපිකාවකට සුදුසු ශරීරයක් තිබුණෙ නැහැ. මම ඒ කාලේ මහතයි. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ දැන් ඔය බාස්කට්බෝල් ගැහුවා ඇති. ක්‍රීඩාව නවත්තන්න කියලා ක්‍රීඩා කරන එක මගේ ගෙදරින් නතර කළා.

මම යන්න හිතාගෙන හිටපු පැත්ත සම්පූර්ණයෙන්ම වැහුණට පස්සෙ දැන් මම මොකද කරන්නෙ? කියන ප්‍රශ්නය මටත් ආවා. ඒ අතර ගෙවල්වල අකමැත්ත මතම මම නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණා. මුලින්ම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ කලාව ඉගෙන ගත්තා. පැසිපන්දු ක්‍රීඩාවෙන් පස්සෙ මම මහත් වුණා. මගේ හොඳම යාළුවෙක් මට නිරූපණ ක්ෂේත්‍රයට එන්න බැහැ කියලා මතයක හිටියා. එයා කරපු අපහාසාත්මක අභියෝගය නිසාම තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙන්න ඕන වුණේ.

මගේ ජීවිතේ සුන්දර කාලවල් ගොඩක් තියෙනවා. මට වර්තමානය ටිකක් අමාරුයි කියලා හිතෙනවා. අද දවස ගෙවෙද්දී ගිය අවුරුද්ද ගැන හිතද්දී මේ කාලෙට වඩා ගිය අවුරුද්ද ගොඩක් හොඳයි කියලා හිතෙනවා. අද දවසේ සමහර ප්‍රශ්න එද්දී අපරාදේ මීට කලින් මම හොඳට හිටියනෙ කියලා හිතෙනවා. අතීතය අදට වඩා සුන්දරයි.

ඔබේ ජීවිතයේ අතපසු වුණු, ඉටු නොවුණු බලාපොරොත්තු ඇති..?
ඔව්… පැසිපන්දු ක්‍රීඩිකාවක් නොවීම ගැන තවමත් ලොකු දුකක් තියෙනවා. දැන් වුණත් මම මගේ පැසිපන්දු ගුරුතුමා එක්ක කතා කරනවා. ඔහු වුණත් සුදුසු කාලෙදී සුදුසු දේ කරන්න කියලා තමයි කියන්නෙ. ක්‍රීඩා කරන කාලෙදී ඔහු අපි කිසිම කෙනෙකුට ආදර සම්බන්ධතා ඇතිකරගන්න ඉඩ දුන්නෙ නැහැ. සර් දීපු අවවාදත් එක්ක මගේ ජීවිතෙන් ක්‍රීඩාව මඟහැරුණා. ක්‍රීඩිකාවක් විදිහට මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න, මැරිලා යන්න ආසයි. ක්‍රීඩාව ජීවිතෙන් අතහරින්න ආසාවක් නැහැ.

අදටත් මම ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා. දැනටත් මම බොහෝ වෙලාවට දවසකට දෙවරක් ජිම් යනවා. මට පුළුවන් හැමවෙලේම මම ජිම් එකට යනවා. හැමෝටම ඒක සුදුසු නොවෙන්න පුළුවන්. මම හොඳ උපදේශකයකු යටතේ තමයි ව්‍යායාම කරන්නෙ. කොහුවල හයිඔක්ටෙන් කියන ව්‍යායාම මධ්‍යස්ථානයේ තමයි මම පුහුණුවීම් කරන්නෙ. ඒකෙ වෙළෙඳනාම තානාපතිනිය විදිහට කටයුතු කරන්නෙත් මමයි. ක්‍රීඩාවෙන් මට මඟහැරුණු දේ ජිම් එකේ පුහුණුවෙන් මම ලබාගන්නවා. මම ජිම් එකේදී ගොඩක් මහන්සි වෙනවා. සමහර ව්‍යායාම කරද්දී සමහරු ඒ ව්‍යායාම් කරන්න ඕනෙද? කියලා මගෙන් අහනවා. හැබැයි එහෙම නොකළොත් ඒක මට ටිකක් අමාරුයි.

මේ දවස්වල මම නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව ප්‍රසන්න ජයකොඩිගේ කොරෝනා කාලේ ආලේ කියන අලුත් චිත්‍රපටයට ලෑස්ති වෙලා ඉන්නවා. ඊට අමතරව ප්‍රියන්ත කොළඹගේ මහතාගේ මන්දාරා චිත්‍රපටයේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යනවා.

කොරෝනා කාලේ ගමට වෙලා තමා හිටියේ. මගේ ගම අත්තනගල්ල. කොළඹ හිටියේ මගේ රංගන කටයුතු වල‍ට පහසු නිසා. කොරෝනා කාලේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ප්‍රයෝජනවත් වුණා.

චුලක්ෂිගේ කෙට්ටු වීමත් සුප‍්‍රසිද්ධ හඬපට කතාවකදි මතු වුණා. එතැනදී ඔබ නිහඬව සිටියා

ඔව්. මම නිවැරදි කියල දන්නවනම්.මාධ්‍ය වලට මම නිවැරදි කිය කිය යන්න අවශ්‍යතාවක් නෑ. ඇත්තටම ඒ ගැන කතා කළ යුතුත් නෑ කියන තැන මම ඉන්නෙ.
අපි කලාවට එනවත් එක්කම කට කතා කියන එක නිරායාසයෙන්ම අපිට හැදිලා තියෙන්නේ. අපි නිර්මාණ හරහා ජනප්‍රිය වෙනවා කියන්නේ පෞද්ගලික ජීවිතේ සීමා වෙනවා. අපි කරන කියන දේ යන එන තැන් ගැන මිනිස්සු කතා කරනවා. ලංකාවේ ඇතැම් අය හිතන පතන විදිය අපිට වෙනස් කරන්න බැහැ. මිනිස්සු කවදාවත් පන්න පන්න හොඳක් කියන්නේ නැහැ. හැබැයි පොඩි හරි වැරැද්දක් වුණොත් ඒ දේ වෙන වෙලාවේ ඉඳන් එයාව හංවඩු ගහනවා. ඒ තමා හැටි. එහෙම මම කට කතා වලට බය නම් මේ ක්ෂේත්‍රයට එන්නෙත් නැහැ. කියමනක් තියෙනවා නේ යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නෙත් නැහැ කියලා.

මට මගේ ජිවිතේ ලැබුණ වටිනම දේ තමයි මගේ මව්පියන් ඇතුළු පවුලේ අය ඒ හැමෝගෙම ආදරය ලබන්න මට පුළුවන් වුණා. ඒ වගේ පවුලක ඉපදීම ගැන මම සතුටු වෙනවා. දැන් ඒ එක එක්කෙනා නැතිවීම ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු දුකක්, කලකිරීමක්. මම වැඩිපුරම ආදරය කරපු ලොකු තාත්තා නැතිවුණා. මගේ තාත්තා නැතිවුණා. ඒ ගැන ලොකු දුකක් කලකිරීමක් තියෙනවා. ජීවිතේ යථාර්ථය තේරැම් ගන්න ඒ දේවල් මට උදව් කළා. සියලු දේ අනිත්‍යයි කියලා අද මට දැනෙනවා. අහිමි වීමත් එක්ක ඒ දුක තදින්ම දැනෙනවා. එයාලා වයසට යද්දී, ඒ අයගේ වෙන්වීම දැනෙද්දී ලොකු දුකක් දැනෙනවා. මගේ ආච්චිඅම්මා මාව අතගාද්දී දැනෙන සමේ සිනිඳුකම අද වෙද්දී නැතිවෙලා. ඒ සම රැලි වැටිලා තියෙන බව මට දැනෙනවා. හැබැයි අදටත් ඒ එයාම තමයි.

ආදරය ගැන මොකද හිතෙන්නේ

හරි කෙනා හරි වෙලාවට ලැබෙයි කියලා හිතනවා.
පාසල් යන කාලෙදී මට කිසිම ප්‍රේම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට අවුරුදු විසි තුනේදී විතර මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තා. නමුත් දැන් ඒක මට අහිමිවෙලා ඉවරයි.
වෘත්තීය ජීවිතේ ගත්තම එකිනෙකට වෙනස් මටම අභියෝග වෙන චරිත තුළින් අනාගතය ගොඩ නගා ගන්න එක. ඒ එක්කම පෞද්ගලික ජිවිතේ. පෞද්ගලික ජිවිතේ ගත්තම හොඳ අම්මා කෙනෙක් වෙන්න ආසයි.

විවාහ වෙන්න වයසත් හරි නේද,

මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි. වයස යනවා කියලා හිතලා නම් මම කවදාවත් බඳින්නේ නැහැ. මම දරුවන්ට ආසයි. එනිසා මට මගේම දරුවෙක් ඉන්න ඕනේ කියලත් නැහැ. මට දරුවෙක් අරන් හදාගන්න තත්ත්වයක් තිබ්බොත් ඒකටත් මම කැමතියි. කිසිම දෙයකට හදිස්සියක් නැහැ.