විග්නේශ්වරන්ට බනින්න හැකියාව ලැබුණෙත් එදා අප කළ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලිය නිසයි

0
548

විග්නේශ්වරන්ට බනින්න හැකියාව ලැබුනේ එදා අප විසින් කළ ත්‍රස්ත විරෝධී. ක්‍රියාවලිය නිසා බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ගංවතුර පාලනය සඳහා ක්‍රියාත්මක වන ශාන්ත සෙබස්තියන් දකුණු ඇල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ කොලොන්නාව ඇල හැරවුම් ව්‍යාපෘතිය යටතේ වාසස්ථාන අහිමි වූ නිවැසියන් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ කියා සිටියේය.

“මහින්ද රාජපක්ෂ මහත්මයාට කඬේ යනවාය කියලා අපට කියපු කාලයක් තිබුණා. නමුත් අපි ඔප්පු කර පෙන්නුවා මහින්ද රාජපක්ෂ මහත්මයා, 2005 බලයට පත් වුණේ ත්‍රස්තවාදය පරාජය කරනවා කියල නෙමෙයි.

එතුමා බලයට පත් වුණේ ප්‍රභාකරන් සමග ඍජුව සාකච්ඡා කරනවා කියලා. එතුමයි අපියි අතර තිබුණේ එකම එක එකඟතාවයක් විතරයි. ඒ තමයි රටේ ඒකීය භාවයට අත තියන කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවට තිබූ එකඟතාවය.

හැබැයි අපට පෙනී ගියා එතුමා යටින් තමන්ගේ පවුලත්, තමනුත් ආරක්‍ෂා කර ගැනීම සඳහා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවමින්, අරමුදල් ගෙවන ක්‍රියාවලියක් ගෙන යන බව.

ඒ නිසා ලද පළමු අවස්ථාව වන මාවිල් ආරු සිද්ධියේදී අපි මහින්ද රාජපක්ෂට කිව්වා යුද්ධ කරන්න කියලා. පස්සට යනකොට අපි එතුමාට කිව්වා නෑ මේ දැන් තමයි සටන් කරන්න අවස්ථාව කියලා. ඒකත් නොතකා කටයුතු කරන කොට අපිට සිදුවුණා එතුමාව එයට තල්ලු කර ඒ සටන ඉදිරියට ගෙනයන්න.

ඒ අවස්ථාවේදී එතුමා වටේ සිටි හුඟ දෙනෙක් එයට කැමැත්ත පළ කළේ නැහැ.

නමුත් ඒ ත්‍රස්තවාදය වටෙන් වටය පියවරෙන් පියවර ජයග්‍රාහීව අවසන් උනා. අද ඒකෙන් කාටද ප්‍රතිලාභ ලැබිලා තිබෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ප්‍රතිලාභ ලැබිලා තිබෙන්නේ ද්‍රවිඩ ජනතාවට. උතුරේ සිමෙන්ති කොට්ටය, හාල් සේරුව, භූමිතෙල් ලීටරය කීයද යුද්ධය අවස්ථාවේදී, අද කීයද? ඒ වගේම ඒ ජනතාවට ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කොපමණද?

එදා තමිල් චෙල්වම්ගේ දුරකතන ඇමතුමට නැටවෙච්ච දේශපාලන ව්‍යාපාර උතුරේ තිබුණේ. නමුත් නිදහසේ දේශපාලනය කරන්න, පෙළපාලි යන්න සංවිධානය වෙන්න, විග්නේශ්වරම් මහත්මයාට අපට බණින්න, සම්බන්ධන් මහත්මයාට ප්‍රජාතන්ත්‍රවාදී සටන්වලට දායක වෙන්න හැකියාව නිදහස ලැබුණේ එදා අපි කළ ත්‍රස්ත විරෝධී ක්‍රියාවලිය නිසයි.”