වරාය වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

0
109

මෙරට සම්පත් විදේශයන්ට විකිණීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අතිශය කණගාටුවට පත්වන බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමි පවසති.

වරාය වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ (28) පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක වරාය නැගෙනහිර පර්යන්තය ගොඩනැගීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මේ බව සඳහන් කර ඇත.‍

වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයින් ඊයේ පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි බව වාර්තාවේ.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් බැහැදැක කොළඔ වරාය නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලිය පිළිගැන්වීමට කටයුතු කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා, “ඉන්දියාව අපිට බලපෑම් කරනවා මේක අදානිට දෙන්න කියලා. මේ රටට අවශ්‍ය ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලයට විනාශවන එකයි මේ වෙන්නේ. මම පොහොට්ටුවේ වෘත්තිය සමිති නායකයා. වරායේ එකිනෙකට වෙනස් වෘත්තිය සමිති 23ක් එකමතයකට ඇවිල්ලා තියෙනවා නැගෙනහිර පර්යන්තය බේරාගැනීමට. කරන්න බැරිවුණොත් මේ රට විනාශයි.”

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිළි කරමින්, “රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ පාලකයන්ට මේ රටේ සුබ සිද්ධිය සඳහා වැඩකරන්න මිස මේ තියෙන මොනවා හෝ කරලා තියෙන දෙයක් විකුණගෙන ඒ කාලෙට ආණ්ඩුව පවත්වාගෙන යන්න නෙමෙයි. ඇත්තටම ජාතියක් රටක් හැටියට අපිට අතිශය කණගාටුවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. අපිත් ඒ ස්ථාවරයේ ඉන්නේ,” යනුවෙන් පෙන්වා දී තිබේ.

මේ අතර අද (29) සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයට එළඹීමට වරාය වෘත්තිය සමිති තීරණය කර තිබේ.