වයිරසය විසින් කුසල් මෙන්ඩිස්ව ජාතික සංචිතයට යළි කැඳවයි

0
13

සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩකයින් සිව්දෙනෙකුට අවස්ථාව

ලබන 16 වැනිදා සිම්බාබ්වේ සමගින් ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

අදාළ සංචිතයට ඇතුළත්ව සිටියදී කොවිඩ් අසාදනය වූ අවිශ්ක ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ වෙනුවට චන්දිමාල් සහ මෙන්ඩිස්ට අවස්ථාව උදා වී තිබේ.

ඉකුත් වසරේ එංගලන්ත සංචාරය අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ කඩ කිරීම හේතුවෙන් දඬුවම් ලැබූ කුසල් මෙන්ඩිස් ඉන් අනතුරුව ජාතික කණ්ඩායමට එක් වන පළමු අවස්ථාව වශයෙන් මෙය සටහන් වේ.

මීට පෙර ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත්ව සිටි ළහිරු කුමාර සහ යොවුන් ක්‍රීඩක කළණ පෙරේරා වෙනුවට අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දුට කණ්ඩායමේ අවස්ථාව උදාවන බවටද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ නමුත් සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන අවසන් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (11 වැනිදා) පස්වරුව වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබිණි.