වතු කම්කරු වැටුප රු1281ක් කළ යුතුයි

0
567

පවතින ආර්ථික අර්බුදය නිසා වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් එක්දහස් දෙසිය අසූ එකක් බවට පත් කරන ලෙස ඉල්ලා කම්කරු අමාත්‍යවරයාට හා රජයට ලබන පළමු වැනිදා සංදේශයක් භාරදෙන බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.

මීට අමතරව වතු කම්කරුවන්ට රජයේ කම්කරු වැටුප ලැබෙන ලෙසට මාසික වැටුපක් සකස් කරන ලෙස මෙහිදී ඉල්ලා සිටින බවද එම සංගමයේ ලේකම් ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
2016 වසරේ ඔක්තෝබර් 15 වැනිදා අත්සන් කළ වතු කම්කරු වැටුප සම්බන්ධ සාමූහික ගිවිසුම ලබන මස 14 වැනි දිනට අවලංගු වන බවද ඔහු පවසා සිටියේය.

මේ අනුව ඔක්තෝබර් 16 වැනිදා සිට නව වැටුප් ක්‍රමයක් ඉදිරි වසර දෙකක කාලයකට සකස් විය යුතු බවත්, මේ අනුව දැනට ලබාදෙන රුපියල් 730 වැටුප, රුපියල් 1281ක් දක්වා ඉහළ දමන ලෙසට ඉල්ලීම් සිදු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ දා සිට මේ වසරේ ජූලි මාසය දක්වා කාලය තුළදී ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
ආර්ථික අපහසුතා නිසා ලෝකයාටම තේ ලබාදෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ජනතාවගෙන් 35%කට මන්දපෝෂණය බවත්, පොදුවේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මන්දපෝෂණයෙන් රක්තහීනතාවෙන් හා විවිධ ලෙඩ රෝගවලින් පීඩා විඳින බවත් හෙතෙම කියා සිටියේය.

මීට අමතරව වතු ආශ්‍රිත පාසල්වල පළමු පන්තියට 100 දෙනෙකු ඇතුළත් වුවහොත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තෙක් පාසල් යන්නේ 53෴ක ප්‍රමාණයක් බවත්, උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන්නේ 02%කට ආසන්න ප්‍රමාණයක් බවද ඒ. ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.