රිජ්වේ ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ගත් තීරණ

0
156

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල ඊයේ (17) නිවේදනය කළේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘතව පැවතිය ද රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමේ වේලාවල් සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ රෝගීන් බැලීම සඳහා දිනකට එක්වරක් පමණක් පැමිණෙන ලෙසය. වෙනදා මෙන් පැයක පමණ කාලයක් රෝගියා සමග රැඳී නොසිටින ලෙසද ඉල්ලීමක් කළේය.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ රෝහල් සායනවල පිරිස් අඩු කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවය. රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීමට දිනක් තුළ එක් අමුත්තෙකුට පමණක් පැමිණීමට අවස්ථාව දී ඇති බවද පැවසීය. රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවතා ඇති බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර දැනට පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ අගරදගුරු පදවියේ ඔක්තොම්බර් 18 සහ 25 යන ඉරු දිනයන්හි දිව්‍ය පූජාවන් නොපැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර ඇත.