රවී ඇතුළු හයකට නිකුත් කළ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක්

0
21

2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ තවත් හය දෙනෙකු අත්අඩංගුවට සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් පිරිස විසින් ඉදිරිපත් කළ පෙත්සම් තුළ බැලූ බැල්මටම නඩු නිමිත්තක් උද්ගත වී තිබෙන බව තීන්දු කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී .නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ අතුරු තහනම් නියෝග බල පැවැත්වෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැවසීය.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ රවී කරුණානායක ඇතුළු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝග නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත තවත් නියෝගයක් නිකුත් කළේය.

කෙසේවෙතත් මෙම නියෝග තුළින් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට කිසිදු බාධාවක් සිදු නොවිය යුතු බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවාස් මහතා සඳහන් කර ඇත.

තීන්දු ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරුවරයා සඳහන් කර සිටියේ, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සියලු විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ඒකමතිකව මෙම තීරණය ප්‍රකාශයට පත් කරන බවය.

ඒ අනුව පෙත්සම්වල වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට තීන්දු කළ අධිකරණය විරෝධතා තිබේ නම් අද සිට සති හයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශවයට නියම කළේය.

එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ද එතැන් පටන් ඉදිරි සති හයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් නඩුවේ පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 25 වනදා යළි කැඳවන ලෙසද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.