මහනුවර නගරයේ මුස්ලිම් පාසලක ඉදිකරන්නේ නෑ – මහින්දානන්ද

0
315

පසුගිය රජය විසින් ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 604ක පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (29දා) විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

“විදුලිබල අමාත්‍යාංශය පනත වෙනස් කරලා බලාගාර ඉදිකිරීමේ කිසිදු සැලැස්මක් නෑ. අපි අපේ ජනන සැලැස්මට බලාගාර ඉදිකරනවා ඇරෙන්න පනත වෙනස් කර බලාගාර ඉදිකරන්නේ නෑ. අපි අවුරුදු දෙකෙන් දෙකට වෙනස් කරමින් අවුරුදු විස්සකට දීර්ඝකාලීන ජනන සැලැස්මක් හදනවා. ඒ අනුව සෑම වසර දෙකකට වරක්ම විදුලි බලාගාරයක් ඉදිවිය යුතුයි.

නමුත් 2014 සිට 2020 වන තෙක් ලංකා විදුලිබල මණ්ඩලය කිසිදු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු කරලා නෑ. අපි 2010 නොරොච්චෝලේ බලාගාරය හැදුවා. ඒ වගේම කෙරවලපිටිය සහා ඉහළ කොත්මලේ බලාගාර හැදුවා. ඒ හැර අද වෙනතුරුත් කිසිදු බලාගාරයක් ඉදිකරන්න තීන්දු කරලා නෑ. අපි කඩිනමින් බලාගාර ඉදිකරන්න කටයුතු කරලා තියෙනවා.

මේ ආණ්ඩුව ආපු ගමන් සාම්පූර් බලාගාරය හදන එකත් නැවැත්තුවා. කෙරවළපිටිය මෙගාවොට් 300ක බලාගාරයක් හැදුවා. ඒ ටෙන්ඩර් එක රවි කරුණානායක මහත්තයයි බටගොඩ මහත්තයයි වෙනත් සමාගමකට වැරදි විදියට ටෙන්ඩර් එක ලබා දීපු නිසා ඒ වැඩ කටයුතු නතර වෙලා තියෙනවා. මේ විදුලි බලාගාර ඉදි වුණා නම්, මෙගාවොට් 800ක අද වෙන කොට විදුලිබල මණ්ඩලයේ ජාතික පද්ධතියට එකතු වෙනවා.

එක්සත් ජාතික පක්‍ෂය කළේ ජනන සැලැස්මට තිබුණු සියලු බලාගාර නවත්තලා අධික මිලට විදුලිය මිලට ගැනීමක්. මේකට අපි පරීක්‍ෂණයක් කරගෙන යනවා. මේකට වගකිවයුතු සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපට සිද්ධ වුණා මෙගාවොට් 200ක විදුලි මිලදී ගැනීමක් සිදු කරන්න. ඒ නිසා රුපියල් 13කට 14කට ගන්න තිබුණු විදුලි ඒකකය හදිසි විදුලි මිලදී ගැනීම් නිසා 25ට 30ට ගන්න සිද්ධ වෙලා තියෙනවා.

එක එක ඇමතිවරුන්ගේ ව්‍යාපෘති මේ අමාත්‍යාංශයට ගේන්න කටයුතු කළා ඇරෙන්න කිසිම දෙයක් වෙලා නෑ. මේ අමාත්‍යාංශයේ හිටියා ලේකම්වරයෙක් බටගොඩ කියලා. මේ අමාත්‍යාංශයේ සෝලා ව්‍යාපෘතිවලට ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩර් එවන සියලු දෙනා මේ ලේකම්වරයට තිබුණු කන්සල්ටන්සි සමාගමට ගිහින් ලියාපදිංචි වෙලා තමයි ටෙන්ඩර් දාන්න ඕන.

මේ ආකාරයට තමයි පසුගිය කාලේ විදුලිබල අමාත්‍යාංශයේ වැඩ වෙලා තියෙන්නෙ. ජනාධිපතිතුමා කියලා තියෙනවා විවෘත ටෙන්ඩර් පටිපාටියට අනුව නීත්‍යනුකූලව විදුලි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න කියලා. අපට තව මාස දෙක තුනක් යනකොට පුළුවන් වෙනවා විදුලි බලාගාරවල වැඩ කටයුතු ආරම්භ කරන්න.

සමාජ මාධ්‍යවල දිගින් දිගටම සැරිසැරුවා මහනුවර නගරයේ මුස්ලිම් පාසලක් ඉදිකරනවා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. මහනුවර නගරයේ කිසිම මුස්ලිම් පාසලක් ඉදිකරලත් නෑ. ඉදිකරන්නෙත් නෑ”යනුවෙන්ද පවසා සිටියේය.