බස්නාහිර පළාතේ 57000 කට කොරෝනා එන්නත් කරනය අ​ද

0
21

අද (17) දිනය තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් එන්නත ලබාදීමට නියමිත බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිත බවය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවලත් හඳුනාගත් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල අවුරුදු 30 – 60ත් අතර සියලුදෙනාට අද දිනය තුළ එන්නත් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වැඩබලන අමාත්‍යවරයා,

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා” එන්නතේ පළමු එන්නත ලබාගෙන සති තුනක් පමණ යනවිට සියයට 70ක් පමණ ආරක්ෂාවක් ලැබෙනවා කියලා තමයි දැනට පෙනී ගොස් තිබෙන්නේ. දෙවැනි එන්නත ලබාගැනීමෙන් එහි ඵලදායිතාව තවත් වැඩිවෙනවා. ආරම්භයේ දී කිව්වේ සති 4කින් වගේ ලබාදෙන්න කියලා. නමුත් මේ වෙනකොට අපට පෙනී ගොස් තිබෙනවා ලෝකයෙන් ලැබෙන දත්ත වාර්තා සමග එන්නත් දෙක අතර කාලය තවත් දීර්ඝ කළ හැකි බව. ඒ අනුව අපි සති 10ක පරතරයක් තියන්න තමයි තීරණය කර තිබෙන්නේ.“