බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනෙකු මරුට

0
471

බංගලාදේශයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දෙදෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දෙසැම්බර් 30 වනදාට බංගලාදේශයේ මහමැතිවරණය යෙදී ඇති අතර මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්වලින් මෙම මරණ සිදුවී තිබේ.

පාලක පක්ෂය වන අවාමි ලීගය නියෝජනය කරන අගමැති ශෙයික් හසීනා තෙවන වතාවටත් බලය ලබා ගැනීම සඳහා තරග වැදී සිටියි.

බංගලාදේශ ජාතික පක්ෂය ප්‍රධාන විපක්ෂය වන අතර එහි නායකත්වය දරන්නේ දැනට සිරගතව සිටින බෙගම් ඛලීඩා ශියා ය.

2014 වර්ෂයේ පැවැත්වූ අවසාන මහ මැතිවරණය අසාධාරණ බව පවසමින් බංගලාදේශ ජාතික පක්ෂය වර්ජනය කළ අතර මැතිවරණ නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුව ඇති හෙයින් මෙවර තරග කිරීමට තීරණය කර ඇත.

මෙම ප්‍රධාන පක්ෂ දෙකේ සාමාජිකයින් අතර ගැටුම් ඇති වී තිබෙන අතර මියගොස් ඇත්තේ අවාමි ලීගයේ සාමාජිකයින් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.