පෞද්ගලික සේවකයිනුත් ගෙදර තබන්නැයි ඇමති ඉල්ලයි

0
59

ඛනිජ තෙල් සංස්ථාවේ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී පෝලිම්වල රැඳීසිටින පුද්ගලයින්ට අද (27) සිට ටෝකන් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, අදාළ පිරවුම්හල් වෙත ඉන්ධන තොග ලැබීමෙන් අනතුරුව ටෝකන් ලබාගත් පුද්ගලයින් ඒ පිළිබඳ දැනුවත් කර ඉන්ධන නිකුත්කිරීම සිදුවනු ඇති බවය.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

“ටෝකන් එක අනුව ඔවුන්ගේ දුරකථන අංකය ලබාගෙන තමා ඒ ටෝකන් එක දෙන්නේ. වෙනස් කරන්න බැරි විදියේ. ඒ ෂෙඩ් එකට ආවේණික විදියට. ඒ අනුව හෙට අනිද්දා වෙද්දි හැම පිරවුම්හලටම දෙන්න බැරිවෙනවා ඊළඟ නෞකාව අපිට ලැබෙන කල්. ඒ ලැබෙන තුරු පෝලිම්වල ඉන්න ජනතාවට ඉන්ධන බවුසරයක් ලැබුණාම පළමුවෙන් ඉන්න අයට කතා කරලා දැනුවත් කරන්න තමා බලාපොරොත්තුව. ඉදිරි දින කිහිපයේ මේ කටයුත්ත කළමනාකරණය වෙනකල්. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, කණගාටුවෙන් මේක කියන්නේ, ඉතාම බැගෑපත්ව මේක කරන්නේ. මම දන්නවා තියෙන වේදනාව. මම දන්නවා තියෙන පීඩනය සහ වෛරය. මට හෝ රජයට හෝ අමාත්‍යාංශයට වෙන්න පුළුවන්, ජනාධිපතිවරයා ට හෝ අගමැතිවරයාට නමුත් ඉල්ලා සිටිනවා පෙළ ගැසෙන්න එපා ඉදිරි දින කිහිපයේ ඉන්ධන පිරවුම්හල් අසල. ටෝකන් එක ලබාගෙන ඔබට නිවෙස්වලට යන්න පුළුවන්.”

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් හැර සෙසු රාජ්‍ය සේවකයින් නිවෙස් ගත මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවන් සිදුකරන පසුබිමක පවතින තුළ පෞද්ගලික අංශය ද ඊට අනුගත වීම යෝග්‍ය බව කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේය.

“රාජ්‍ය සේවයේ ඉන්න සියලුදෙනාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා චක්‍රලේඛවලින්. ඒ වගේම පෞද්ගලික අංශයෙනුත් අපි ඉල්ලීම කරනවා. නිවසේ ඉඳලා සේවය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිස නවත්වලා ඒක කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන වෙනත් වැඩකටයුතුවල දී ඉන්ධන භාවිත කරලා කරන පුළුවන් තරම් අඩුකරන්න. ඒ වගේම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය දෙන්න.”

මේ අතර රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නැවත දැනුම්දෙන තුරු අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

අමාත්‍යංශය ලේකම් එම්.එම්.පී.කේ මයාදුන්නේ මහතා විසින් නිකුත් කළ ආදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ පවතින ඉන්ධන හිඟයත් සමඟ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දි මතුව ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය.