පිලිපීනයේ ආසාදිත ලක්ෂය ඉක්මවද්දී සීමා දැඩි කිරීමක්

0
42

පිලිපීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා යෑමත් සමග එරට මැනිලා අගනුවර වෛරසයට මැඬපැවැත්වීමේ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කළ බව ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්ටේ ප්‍රකාශ කළේය.

"නවීකරණය සහ වැඩිදියුණු කරන ලද ප්‍රජා නිරෝධායනය" ලෙස නම් කර ඇති මෙම නව සීමාවන් අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට මැනිලා සහ ලගූනා, කැවිට්, රිසාල් සහ බුලකන් පළාත්වලට පනවනු ලැබේ.

ඒ අනුව වයස 21ට අඩු පුද්ගලයින්, 60ට වැඩි අය, සෞඛ්‍ය අවදානම් ඇති අය සහ ගර්භනී කාන්තාවන් ඔවුන්ගේ නිවාසවල රැඳී සිටිය යුතු බව නීතිරීතිවල සඳහන් වේ. එහිදී ඔවුන්ට ලැබෙන එකම සහනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් පිටතට යෑම පමණි.

ජනාධිපති ඩුටර්ටේ මෙම තීරණයට එළැඹෙන්නේ අවම වශයෙන් එරට වෛද්‍ය සංගම් 80ක් වත් සීමාවන් දැඩි කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ලිපියක් අත්සන් කිරීමෙන් පසුවය.

"අපි ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත්ව සිටිනවා. අපගෙන් බොහෝ දෙනෙකු දැනටමත් කොවිඩ්-19 ආසාදනය වී සිටිනවා" යැයි පිලිපීන වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති මාරියෝ පැනලිගන් අගෝස්තු 1 වැනි දින විවෘත ලිපියක් මගින් කියා සිටියේය.

එසේම වෛද්‍යවරුන් 10,000ක් බඳවා ගැනීමට සහ වර්තමාන සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායට සහාය වීම සඳහා ක්‍රියාකාරී රාජකාරියට සහ පිලිපීනයේ සන්නද්ධ හමුදාවලට නව බඳවා ගැනීම් සිදුකිරීමටද ඩුටාර්ටේ අනුමැතිය ලබාදුන් බව ජනාධිපති ප්‍රකාශක හෙන්රි රොක් නිවේදනය කළේය.

පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පිලිපීනය ඊයේ (02දා) අලුතින් ආසාදිතයන් 5,032ක් වාර්තා කර ඇති අතර එය රටපුරා සමස්ත ආසාදිත අගය 103,185ක් දක්වා ඉහළ නංවා තිබේ. එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,059ක් දක්වා ඉහළ ගොස් තිබේ.