පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉල්ලා දේව කන්නලව්වක්

0
15

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී දින 1000 ක් සම්පූර්ණ වෙයි

එළඹෙන ජනවාරි 14 වන සිකුරාදා දිනට පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදු වී දින 1000 ක් සම්පූර්ණ වුවද එම වින්දිතයන් සඳහා සෑහීමට පත් විය හැකි සාධාරණත්වයක් ඉටු නොවීම හේතුවෙන් දෙවියන්ට කන්නලව් කිරීමට ජාතික මට්ටමේ යාච්ඤා මෙහෙයක් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව විසින් සංවිධානය කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට ජනතාව පීඩා විඳින්නා වූ සාමාජීය, ආර්ථික ප්‍රශ්න සිහිකරමින්ද මෙම කන්නලව්ව සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන 14 වැනි සිකුරාදා උදෑසන 10.00 ට තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකාවේ දේව මාතාවන්ට කැප කර ඇති ගුහාව අබියසින් අති උතුම් රදගුරුතුමන්ලා, පියතුමන්ලා සහ පැවිදි සොහොයුරු, සොහොයුරියන් ජපමාලය උච්චාරණය කරමින් බැසිලිකා දේවස්ථානය වෙත පෙරහැරින් ගමන් කරනු ඇති.

ඉන් අනතුරුව බැසිලිකා දේවස්ථානයේ එළිමහන් මණ්ඩපයේ දී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ සියලුම රදගුරුතුමන්ලා එක්ව පවත්වනු ලබන විශේෂ යාච්ඤා මෙහෙය සිංහල හා දමිළ බසින් සිදු කිරීමටද නියමිතව තිබෙනවා.