පළාත් සභා මැතිවරණය ගැන නිදහස් පක්ෂයේ සාකච්ඡාවක්

0
94

ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතිගාමී වන තීරණ නොගන්නා බව එම පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ (25) රාත්‍රීයේ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය තීරණයක් ගත් පසු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

නව ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනා අද ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදෙන බවද දායාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

“පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂය ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. මනාප ක්‍රමය පිළිබඳව මුල ඉඳලම අපේ තිබුණා ප්‍රශ්නයක්. ප්‍රදේශයට නැත්නම් කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයෙක් අපි පහුගිය මැතිවරණයේදී ඉදිරිපත් කළා. ඒ මතයේ ඉඳගෙන අපි යම් යම් සාකච්ඡා ගණනාවක් සිදුකළා. අවසන් තීන්දුවකට ඇවිත් නෑ. 30 වනදා අපි වැඩිදුරටත් සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තුවෙනවා. අපි හදපු ආණ්ඩුවේ අඩුපාඩු වැරදි තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ශ්‍රීලනිපයට අවාසියක් වෙන කිසිදු තීරණයක් අපි ගන්න බලාපොරොත්තුවෙන්නේ නෑ. අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ අදහස් භාරදීමටත් කටයුතු කරනවා.”