පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට – සියයට 25ක කාන්තා නියෝජනය අනිවාර්යයි

0
219

මෙවර පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම පමණක් පළාත් සභා මැතිවරණය පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, සියයට 25 ක අනිවාර්ය කාන්තා අපේකෂකත්වය තහවුරු වන පරිදි පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඉදිරි පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

අද(14) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසීය.

පළාත් සභා 9 න් නිල කාලය මේ වන විටත් අවසන් වී ඇති බැවින් කඩිනමින් පළාත් සභා ඡන්ද විමසීම සඳහා විධිවිධාන සැලසිය යුතු වෙයි.

පළාත් සභා මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම සඳහා මේ වන විට ක්‍රියාත්මක වන 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම(සංශෝධන) පනතින් සංශෝධිත 1988 අංක 2 දරන පළාත සභා ඡන්ද විමසීම් පනත මඟින් හඳුන්වා දෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ ඡන්ද විමසීම පැවැත් වීම සඳහා අත්‍යාවශ්‍ය ඡන්ද කොට්ඨාශ නිර්ණය කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව ද රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඒ අනුව සියයට 25 ක අනිවාර්ය කාන්තා අපේක්ෂකත්ව තහවුරු වන පරිදි පැවැත්වීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.