නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් ගැන තොරතුරු

0
107

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දිවයින පුරා පැනවූ රාත්‍රී ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම් රැසක් ප්‍රදේශ ගණනාවකින් වාර්තා වේ.

සෑම දිනකම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා රාත්‍රී නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම ඊයේ සිට ක්‍රියාත්මක වෙයි.

කෙසේවෙතත් ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රාත්‍රී ආපනශාලා සහ වෙළෙඳසැල් විවෘතව තිබූ බව අප වාර්තාකරුවන් පැවසීය.

පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මවීමත් සමග ඊයේ රාත්‍රී සිට පළාත් සීමා අතර රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරුණි.

මේ අතර, පවතින කොවිඩ් වාතාවරණය සැලකිල්ලට ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක වෙළෙඳසැල් වසාදැමීමට වෙළෙඳ සංගම් අද පියවර ගෙන තිබුණි.

ඒ අනුව කෑගල්ල, අම්බලන්ගොඩ බටපොළ, රත්නපුර අයගම, බණ්ඩාරවෙල, වලපනේ, ත්‍රිකුණාමලය, මොනරාගල, ආදි ප්‍රදේශවල නගරවල සියලු වෙළෙඳසැල් අද සිට වසාතැබෙයි.

එමෙන්ම රත්නපුර, යටියන්තොට, බදුල්ල, හලාවත, බෙලිඅත්ත සහ තංගල්ල ආදි නගරවල සියලු වෙළෙඳසැල් හෙට සිට වසාදැමීමට වෙළෙඳ සංගම් තීරණය කර තිබේ.

දඹුල්ල නගරයේ සියලු වෙළෙඳසැල් අනිද්දා දින වසා දැමීමට නියමිත බව එහි වෙළෙඳ සංගමය පැවසීය.

බලපිටිය ප්‍රදේශීය සභාවේ මාසික රැස්වීමට සහභාගීවීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් රට වසාදමන ලෙස විරෝධතා පුවරු රැගෙන විරෝධය පළකරමින් සභාවට ඇතුළුවීමට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණි.

මේ අතර විවාහ මංගල උත්සව සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු අවසර නොලැබෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේවතත් මහජන ඒකරාශීවීමකින් තොරව විවාහ ලියාපදිංචි කිරීම් සඳහා පමණක් අවසර හිමිවේ.

නිරෝධායන ඇඳිරිනීතිය අද රාත්‍රි 10 සිට හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මකය.