නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා – වෛද්‍ය පාදෙණිය

0
9

රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ වගාවන් සිදුකිරීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවට දිවයිනේ ප්‍රදේශ බොහෝමයක වී, තේ, එළවළු ගොවීන් රැසක් අදත් මැසිවිලි නැගීය.

අනුරාධපුර නොච්චියාගම ළිඳවැව රූකඩ ප්‍රදේශයේ වී ගොවීන් පවසන්නේ මෙම තත්ත්වයෙන් තමන් දැඩිව පීඩාවට පත්ව ඇති බවය.

තේ වගාවට යොදන පොහොර හිඟවීමෙන් හිනිදුමපත්තුවේ සහ මොරවක්කෝරළේ කුඩා තේ වතු හිමියන් ද දැඩි අපහසුතාවකට පත්ව සිටී.

රසායනික පොහොර නොමැතිකමින් පොළොන්නරුව ඇලහැර බටුහේන ගඟේයාය ප්‍රදේශයේ ලොකු ලූනූ ගොවීන්ද දැඩි පීඩාවට පත්ව ඇති බව අප වාර්තාකරු පැවසීය

මෙවන් තත්ත්වයක් තුළ කෘත්‍රිම පොහොර හිඟයක් මවා පාමින් රජයේ සහනාධාර පොහොර සඟවා වැඩි මිලට අලෙවි කළ වෙළෙඳසැල් වැටලීමට මාතලේ පාරිබෝගික සේවා නිලධාරීන් අද මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

දඹුල්ල ගලේවෙල ප්‍රදේශයේ එවැනි ස්ථාන දෙකක තිබූ පොහොර පාලන මිලට ගොවීන්ට නිකුත් කිරීමට පසුව එම නිලධාරීන් පියවර ගත්තේය.

එමෙන්ම වැඩි මිලට පොහොර අලෙවි කළ වීරකැටිය වෑකඳවල ප්‍රදේශයේ පොහොර ගබඩාවක් ද හම්බන්තොට පාරිබෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද පස්වරුවේ වටලනු ලැබීය.

මේ අතර නව තාක්ෂණය යොදා ගනිමින් මෙරට තුළ සම්පූර්ණයෙන් කාබනිකව ගොවිතැන් කිරීමේ හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.