නව ආණ්ඩුවට එ.ජා සහය ලබා දෙන බව කියයි

0
431

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හානා සිංගර් (Hanaa Singer) මහත්මිය ඊයේ (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා නියෝජිතවරිය දැනුවත් කළ අතර, රජයේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව ද පැහැදිලි කළේ ය.

රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව සඳහන් කළ ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබා දෙන සහාය ඇගයීමට ලක් කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ හානා සිංගර් මහත්මිය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියට ද ශ‍්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.