නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සතියකට වැසේ

0
24

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබේ.

ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර ගත් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.

අදාළ පුද්ගලයාගේ වෛරස රෝග ලක්ෂණ වර්ධනය වීමක් පෙන්නුම් කරන අතර ඔහුට වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තා වේ.

ආසාදිත පුද්ගලයා පසුගිය දින කිහිපය තුළ ඔක්ලන්ඩ් හි ස්ථාන කිහිපයකටම ගොස් ඇති බව සඳහන් ය.

එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකුට බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් එම මාසය මැද භාගයේදී ද දින 3 ක කාලයක් සඳහා ඔක්ලන්ඩ් නුවර වසා දැමුණි.

කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීමේ රටවල් අතර පෙරමුණේ පසුවන නවසීලන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 2,372 දෙනෙකු පමණි.