දෙමටගොඩ රුවන් ගේ කෝටි 5ක මුදල් සහිත බැංකු ගිණුම් හෙළිවේ

0
66

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “දෙමටගොඩ රුවන්” නැමැත්තා සතු කෝටි 5ක මුදලක් දෙමටගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් සොයාගෙන තිබේ.

එම මුදල් ඔහුගේ බිරිඳගේ සහ පුතාගේ නමින් ස්ථාවර තැන්පතු ලෙස තිබු බව වාර්තා වෙයි.

කෙසේවෙතත් එම මුදල් පිළිබඳ කරුණු අනාවරණය වී නොමැති වීමෙන් එම ගිණුම් හරහා මුදල් සංසරණය තාවකාලිකව තහනම් කර තිබේ.

එමෙන්ම ඔවුන්ට අයත් කෝටි එකහමාරක් වටිනා රත්‍රං සහිත සේප්පුවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

ඔහුට අයත් තවත් සේප්පු දෙකක් පිළිබඳ අද (19) දින පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බව ද වාර්තා වේ.

දෙමටගොඩ රුවන් නැමැත්තාගේ මුදල් හා රන් භාණ්ඩ ඇත්දැයි මුල්‍ය සමාගම් සහ බැංකු 53ක් පරීක්ෂා කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන ඒකකය සඳහන් කරයි.

“දෙමටගොඩ රුවන්” නැමැත්තා දැනට මරණ දණ්ඩනය නියමව සිටින “දෙමටගොඩ චමින්ද” ගේ සහෝදරයාය.

මේ අතර හෙරොයින් ජාවාරමෙන් අයුතු ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත “දෙමටගොඩ රුවන්” හෙවත් රුවන් චමිල නැමැත්තා ලබන 3 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරුගේ නිවසේ තිබී සොයාගත් රත්රන් කිලෝ එක හමාරකට වැඩි තොගය පිළිබඳ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් කැඳවන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියම කර තිබේ.

සැකකරුවන්ගේ ඥාතීන් විසින් රත්රන් කිලෝ තුන හමාරක් පමණ උකසට තබා රුපියල් එක් කෝටි 50 ලක්ෂයක පමණ මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක කරන ලෙස අධිකරණය හමුවේ ප්‍රකාශ වී ඇත.

එමෙන්ම සැකකරුගේ බිරිඳගේ නමින් බැංකු ගිණුම් 3 ක පවතින රුපියල් කෝටි දෙකකට අධික මුදල පිළිබඳව ද විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.