දුම්රිය වර්ජනයට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක්

0
233

අත්‍යාවශ්‍ය සේවාවක්ව තිබියදීත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොටුව දුම්රිය ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් පත් කර ඇති අවස්ථාවක වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් එම සේවකයින්ට එරෙහිව අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ආයතන ප්‍රධානියා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව කරුණු 07ක් යටතේ අදාළ පැමිණිල්ල සිදු කළ බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

ඒ අනුව වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

දුම්රිය සේවකයින් මේ වනවිට වර්ජනයක නිරත වන අතර ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණි.

රජය ප්‍රකාශ කළේ සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විධිමත් ලෙස ඊට විසඳුම් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

එහෙත් එම ඉල්ලීම නොසලකා දුම්රිය සේවකයින් වර්ජනයේ නිරත වෙයි.

කෙසේ වුවද දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.