දීඝවාපියට ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ මහා පුණ්‍යෝත්සවය

0
17

බැතිමතුන්ට සියැසින් දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව 

ඓතිහාසික දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ කැණීම් වලදී සෙයා ගත් ධාතූන් වහන්සේලා දීඝවාපිය පූජා භූමියට වැඩම කරවීමේ මහා පුණ්‍යොත්සවය වර්ෂ 2022 ක්වූ ජනවාරි මස 17 වන පොහොය දින පෙරවරුවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරිමට නියමිතය.

මෙම ධාතූන් වහන්සේලා ප්‍රතිසංස්කරනය කරන දීඝවාපිය ස්ථූපයේ තැන්පත් කිරීමට නියමිත අතර, එතෙක් ලෝකවාසී බැතිමතුන්ට සියැසින් දැක වැඳ පුදා ගැනීම සඳහා දීඝවාපිය පුජා භූමියේ තැන්පත් කෙරෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ වැඩමවා වදාළ පුජනීය සොලොස්මස්ථාන අතුරින් පූජනීය පුරාණ ආගමික ස්ථානයක් ලෙස දීඝවාපිය ප්‍රචලිතය. දුටුගැමුණු රජතුමාගේ සොහොයුරා වන සද්ධාතිස්ස රජතුමා විසින් ඉදිකර ඇති දීඝවාපිය බෞද්ධ විහාරස්ථානය සහ එහි පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු භූමියේ ඉතිහාසය ක්‍රි.පු. 3 වන සියවස දක්වා ඈතට දිවෙන බව මහාවංශය සඳහන් කරයි.

පුජනීය දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික ප්‍රයත්නයක අවශ්‍යතාවය, දීඝවාපිය මහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගේ අවධානයට යොමුකරන ලදි.

ඒ අනුව ජනාධිපතිවරයා 2020 ජුනි මස 02 වන දින නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන ලද අතර, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එහි සභාපති ලෙස පත් කළේය.

ඒ අනුව දීඝවාපිය ස්ථූපය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද අතර, ස්ථූප පරිශ්‍රයේ කැණීම් වලදී ධාතූන් වහන්සේලා සොයාගන්නා ලදි. මේ වන විට එම ධාතූන් වහන්සේලා අම්පාර දිසාපති කාර්යාලයේ තැන්පත් කර ඇත.