තැපැල් වර්ජනය තවමත් ක්‍රියාත්මකයි

0
234

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (22) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේය.

මේ අතර තැපැල් සේවකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් අද පස්වරු 4.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සඳහන් කළේය.

බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරයි.

බඳවා ගැනීම් පටිපාටි ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරී සේවයේ උසස්වීම්වලට ප්‍රබල ගැටලුවක් ඇති බවත් බඳවා ගැනීමේ ශ්‍රේණියේ සිට උසස්ම ශ්‍රේණි වෙත යාමට අවුරුදු 62ක පමණ සේවා කාලයක් සැපිරිය යුතු බව ඔවුන් පවසයි.

ඔවුන් පවසන්නේ කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ තනතුරු 18ක් අහිමි වී ඇති බවත් තනතුරු 18ක් නියෝජනය කරන 12000කට අධික තැපැල් සේවකයින් එක තනතුරකට ගොනු වන බවත් ය.

2006 සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැදුණ ද මේ වන තෙක් බඳවා ගැනීම් පටිපාටියේ ගැටලුවලට විසඳම් ලැබී නොමැති බවට තැපැල් වෘත්තිය සමිති චෝදනා කරයි.