ජිනීවා ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් යළි සමාලෝචනය කරන්න රජය සුදානම්

0
164

රටට අහිතකර කිසිදු ගිවිසුමකට එළඹිමට වත්මන් රජය සූදානම් නොමැති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට අහිතකර ගිවිසුම් සම්බන්ධයෙන් යලි සමාලෝචනය කිරිමට පියවර ගනිමින් සිටින බවයි.

මෙම ගිවිසුම පමණක් නොව මෙවැනි ජාත්‍යන්තරය අතර ඇති කර ගෙන ඇති ද්විපාර්ශික ගිවිසුම් හා වෙනත් අවබෝධතා ගිවිසුම් යළි සමාලෝචනය කරන බවත් ඒ මහතා පැවසීය.

ජිනීවා ගිවිසුම ගැනත් එවැනි සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසු අමාත්‍යවරයා, එම අධ්‍යයනය ඉතා ඉක්මනින් අවසන් කරන බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තුව මාසයක් කල්තැබීම සම්බන්ධයෙන් විපක්ෂයේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, විපක්ෂය නිරන්තරයෙන් චෝදනා කරමින් සිටින බවයි.

වසර 4 කට පසුව පරාජයකට මුහුණ දී මෙවැනි දේ ඔවුන් පවසන බවත් කියාසිටි අමාත්‍යවරයා, අයවැය ලේඛනයක් නොමැති නම් සාමාන්‍ය පාර්ලිමේන්තුව දෙසැම්බර් මාසයේ රැස්වෙන්නේ අඩුවෙන් බවත් පැවසීය.

අයවැය ලේඛනය නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු අතුරු සම්මත ගිණුමකට පමණක් සීමා කරනු ලැබුවේ පරණ ආණ්ඩුවට බවත් දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.

පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, නමුත් විපක්ෂය තුළ එකතුවක් නොමැති බව දන්නා කරුණක් බවත් පැවසීය.

විපක්ෂය විසින් සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුව වහා විසුරුවා හැරිය හැකි බවත් පැවසු ඒ මහතා, පාර්ලිමේන්තුව කල්තැබීමට තම පක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් මාර්තු මුල් සතිය වන තෙක් මහමැතිවරණය කැඳවෙන තෙක් පාර්ලිමේන්තුව පැවැත් වෙන බවත් කියා සිටියේය.