ග්ලයිෆොසේට් වෙනුවට එප්පාවලින් රටටම පොහොර හදන්න පුළුවන් – රජයෙන් සහයක් නෑ

0
326

එප්පාවල පොස්පේට් නිධිය මඟින් T.S.P. පොහොර නිපදවීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

මෙම කමිටුව විසින් පසුගිය දින කිහිපය තුළ එප්පාවල පොස්පේට් නිධිය මඟින් T.S.P. පොහොර නිපදවීම කාර්යක්ෂම කිරීම සඳහා වන කරුණු පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කළේය.

ඒ අනුව සකස් කළ අවසන් වාර්තාව ඉදිරි සතිදෙක තුළ තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා විද්වත් කමිටුවට උපදෙස් දෙනු ලැබීය.

කමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කළ වහාම එප්පාවල පොස්පේට් පොහොර නිපදවීමේ කටයුතු ඇරඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා විද්වත් කමිටුවේ නිලධාරීන්ට ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වන සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉ‍ලේපෙරුම මහතා කියා සිටියේ පසුගිය කාලයේ පැවති සෑම රජයකින් ම මේ සම්බන්ධව ඉල්ලීම් කළ ද ඒවා ඉටු නොවූ බවයි.

එම රජයන් විසින් රු.මි.900ක මුදලක් ලබා දුන්නේනම් මේ වන විට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර අප රටේම නිපදවීමට හැකිවනු ඇති බව හෙතම පැවසීය.

නමුත් වර්තමානයේ පොහොර සහනාධාරය සඳහා රජයට පොහොර ආනයනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව රු.මි. 33,000ක් වැය කිරීමට සිදුව ඇත.

එවකට පැවති රජයන් මෙම රු.මි.900 ලබා නොදුන් නිසා, වර්තමානයේ රු.බි.200ත් 300ත් අතර මුදලක් එප්පාවල පොස්පේට් ආදී නව පොහොර නිෂ්පාදන වැඩපිළිවෙල ඇරඹීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට වැය කිරීමට සිදුව ඇතිබවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එප්පාවල පොස්පේට් නිධියේ සුවිශේෂත්වය වන්නේ එය ලෝකයේ තිබෙන කැඩ්මියම් රහිත හොඳම පොස්පේට් නිධිය වීමයි.

වර්තමානයේ දිවයිනේ පළාත් කිහිපයක වකුගඩු රෝගය බහුලවීමට එක් හේතුවක්ව තිබෙන්නේ කැඩ්මියම් බහුල රසායනික පොහොර ආනයනය කර ඒවා ගොවිතැනට යෙදවීම නිසාය.

එමෙන්ම ඒප්පාවල පොස්පේට් පොහොරවල අඩංගු පොටෑසියම් සහ සල්ෆර් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින නිසා එම ගුණාත්මකභාවයෙන් ඉහළ තත්ත්වයක පවතින බවත් එප්පාවල පොස්පේට් පොහොර ලොකයේ හොඳම පොහොරයි.

මෙහි දී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, වාර්ෂිකව අපට අවශ්‍ය T.S.P. පොහොර මෙ.ටො. ලක්ෂ දෙකක ප්‍රමාණය අප රටේම නිපදවීමට කඩිනමින් ම මෙම ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කරන බවයි.

මෙම අවස්ථාවට විද්වත් කමිටුවේ සභාපති කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩී.වී.බන්දුලසේන මහතා ඇතුළු සියළුම සාමාජිකයින් සහභාගි වූහ.