කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

0
27

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (20) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ය.

පෙත්සමක් ඉදිරිපත් කළ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇතිකර ගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කර ගත් සංශෝධිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ පැවසුවේය.

කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබු බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඒ අනුව පළාත් සභා විෂයට අයත් එම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමුකර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යැයි චෝදනා කළේය.

එම පනත් කෙටුම්පත තුළින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යැයි ද ඔහු චෝදනා කළේය.

මේ තුළින් ජාතික ආරක්ෂාව පවා දැඩි ලෙස අනතුරට ලක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

එම පනත් කෙටුම්පත මඟින් කොළඹ වරාය නගර කලාපය තුළ සිටින්නන්ට රටේ අනෙකුත් ජනතාවට හිමි නොවන සුවිශේෂ වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුළ නීතිය මෙලෙස දෙයාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

එම පනත් කෙටුම්පත තුළින් අපේක්ෂා කෙරෙනේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා එම වරාය නගර කලාපයේ ඇරඹෙන ව්‍යපාර තුළින් කිසිදු ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බව ද සඳහන් කළේය.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.