ක්වාජාගෙන් සුපිරි ආරම්භයක්

0
43

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිනය නිමාවන විට ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබාගැනීමට සමත්විය.

Usman Khawaja නොදැවී ලකුණු 47ක් ලබාගෙන පන්දුවට පහරදෙමින් සිටී.

ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුලත් විය.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියා පිලේ මුල් කඩුලු 3 ලකුණු 83ක් තුළ බිඳ වැටුණි.

David Warner ලකුණු 25ක් සහ Marnus Labuschagne ලකුණු 13කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත්වුණි.

ස්ටීව් ස්මිත් දුවද්දී දැවී ගියේ ලකුණු 6ක් ලබා සිටියදීය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තිරණය කළේය.

අද තරගයේදී 158වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ මෙහිදී ටෙස්ට් වරම් හිමි කරගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 97ක් තුළ බිඳ වැටුණි.

නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිමේ යම් සාර්ථකත්වයක් ලබාගත් එකම පිතිකරු විය .

ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 21වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් රැස් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් සියලුදෙනා ලකුණු 212කට දවාගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවනන්නන් සමත්වුණි.

නේදන් ලයන් ලකුණු 90ට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

අද ඇරඹි තරග ආරම්භයට පෙර ඔස්ට්‍රේලියා හිටපු සුපිරි දඟපන්දු යවන  ක්‍රීඩක ෂේන් වෝන්ට උපහාර පිදීමක් ද ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරනු ලැබීය.

වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අද ෂේන් වෝන්ගේ ඡායාරූප වලින් අලංකාරවත් කර තිබුණි..

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබූ වෝන්ට උපහාර පිදීමේ උත්සවය වෙනුවෙනි.

වෝන්ට උපහාර පිදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා හිටපු නායකයන් වන අර්ජුන රණතුංග,අරවින්ද ද සිල්වා සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන රොමේෂ් කලුවිතාරණ සහ උපුල් චන්දන ද එක්ව සිටියහ.

මෙහිදී වෝන් ශ්‍රී ලංකාවට කළ උපකාර අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අතින් සමරු තිළිණයක් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියාට ලබාදුන් අතර ෂේන් වෝන්ගේ පවුලේ අය වෙනුනේ ඔහු එය භාරගනු ලැබීය.