කහ ඇඳුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහය

0
13

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා අද දෙරණ ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා.

“අපිට ඉතාමත් ආඩම්භරයක් සහ සන්තෝෂයක් අපි බලාපොරොත්තු වුනාට වඩා සාර්ථකව මේ තරගාවලිය පැවැත්වීමට අපිට හැකි වුණා. ඒ නිසා මම ස්තූති කරන්න ඕන අපේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ පැමිණීම විශේෂයෙන්ම, අපි ගහපු මැච් 7ම ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියා ප්‍රේක්ෂකයින්ගෙන්. ඒක ලොකු ආඩම්භරයක් අපිට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදියට කහ ඇඳුමින් සැරසිලා එන එකට අපේ සහයෝගය දෙන්න අපි තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කියල තියෙනවා අපේ කාර්ය මණ්ඩලයට කහ ඇඳුමින් සැරසී අනිත් අයට සහයෝගය දෙන්න කියලා. ප්‍රථමයෙන්ම ඒක පටන්ගත්ත අයට ස්තූතිවන්ත වෙන්න ඕන ඒ වගේ අදහසක් ඔවුන්ට ඇවිල්ලා ඒ වගේ ප්‍රතිචාරයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දෙන්න තීරණය කිරීම ගැන.”

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර එක්දින තරගාවලිය මේවන විටත් 3-1 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ජයගෙන තිබේ.

ඒ අනුව වසර 30කට පසු සිය මව්බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන සමත්ව ඇති අතර අවසන් වරට ශ්‍රි ලංකාවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින තරගාවලියකින් පරාජයට පත් කිරිමට සමත්ව ඇත්තේ 1992 වසරේදීය.