එන්නත්වලින් පරාජය කිරීමට අපහසු කොරෝනා වයිරස ප්‍රභේදයක්

0
46

කොරෝනා පරණ ප්‍රභේදයකින් අලුත් බියක්
එන්නත්වලින් පරාජය කිරීමට අපහසු යැයි සැලකෙන කොරෝනා වයිරස ප්‍රභේදයක් ගැන මේ වනවිට ලොවපුරා සෞඛ්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමු වෙමින් තිබේ.

මෙම ප්‍රභේදය හැඳින්වෙන්නේ A.30 යන නමිනි. A.30 ප්‍රභේදය මුල් වරට වාර්තා වී තිබුණේ ටැන්සානියාවෙනි. ඒ, මෙම වසරේ පෙබරවාරි මාසයේයි. පසුව ඇන්ගෝලාව, ස්වීඩනය, එක්සත් රාජධානිය වැනි රටවලින්ද මෙම ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හමු වී තිබිණි.

A.30 ප්‍රභේදය සම්බන්ධයෙන් කරන ලද නව අධ්‍යයනයක ප්‍රතිඵල පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

එමගින් අනාවරණය කර ඇත්තේ එන්නත් මගින් සිරුර තුළ නිපදවන ප්‍රතිදේහ බොහෝ දුරට මගහැර යාමට මෙම ප්‍රභේදයට හැකියාවක් ඇති බවයි. මෙහිදී මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන තිබුණේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් බයෝඑන්ටෙක් යන එන්නත්ය.
මෙම තත්ත්වය තුළ A.30 ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීමේ අවශ්‍යතාව ගැන ඇතැම් විද්‍යාඥයන් අවධාරණය කර තිබෙණුද දැකිය හැකි වේ. මෙවැනි ප්‍රභේදයක් ලොව පුරා පැතිරෙන්නට පටන් ගතහොත් එයින් දැවැන්ත තර්ජනයක් එල්ල වනු ඇත.

මේ අතර ඇතැම් විශේෂඥයන්ගේ අදහස වන්නේ තවමත් එතරම් බිය වීමට හේතුවක් නොමැති බවයි. මෙම විශේෂඥයන් මෙය සලකන්නේ වඳ වී ගිය ආකාරයක් පෙන්වන ප්‍රභේදයක් ලෙසිනි.