ඉන්දීය පරිත්‍යාග රැගත් මානුෂීය ආධාර නෞකාවක් දිවයිනට

0
11

ඉන්දියාවේ තමිල්නාඩු ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මානූෂීය ආධාර රැගත් තවත් නෞකාවක් ශ්‍රී ලංකාවට එවා තිබේ.

ඊයේ (22) දිනයේ දී අදාළ නෞකාව කොළඹ වරාය බලා පිටත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ නෞකාව තුළ සහල් ටොන් 14,712ක්, කිරිපිටි ටොන් 250ක් සහ අත්‍යාවශ්‍ය ජිවීතාරක්ෂක ඖෂධ ටොන් 38ක් ඇතුළු ටොන් 15,000ක තොගයක් අඩංගු බව සඳහන්ය.

අදාළ ආධාර තොගය තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි  වී.ටි.සි.සන් නම් නෞකාවෙන් ශ්‍රී ලංකාවට පිටත්කර එවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මානුෂීය ආධාරවල පළමු තොගය පසුගිය 22 වන දිවයිනට ළඟා වු අතර එහි සහල් මෙට්‍රික් ටොන් 9,000ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 25ක් අඩංගු වුණි.

මේ අතර ඉන්දීය රජයේ නියෝජිතයින් තිදෙනෙකු අද (23) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

අදාළ නියෝජිතයින් පිරිස අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට නියමිත අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.