ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බස් රථ 4700ක් ධාවනයට-දුම්රිය ගමන්වාර 04ක්

0
401

අද(20) සිට ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල පමණක් පොදු ප්‍රවහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව මගී ප්‍රවහන කළමණාකරණ අමාත්‍යංශය පවසයි.

කෙසේවෙතත් ලබන 22 වැනිදා දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල දුම්රිය හෝ බස්රථ ධාවනය නොකෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ධාවනය සඳහා බස් රථ හා දුම්රිය ධාවනයට යොදවා ඇති නමුත් ඒවා භාවිත කළ හැකි වන්නේ සේවා සැපයීම සඳහා සහභාගි වන්නන් පමණක් වන අතර සමාන්‍ය ජනතාව ප්‍රවහනය කිරිම එමගින් සිදුනොවන බව සදහන්ය.

බස්රථ වල එක් ආසනයක අසුන්ගත යුත්තේ එක් අයෙකු පමණක් වන අතර ඔවුන් උපරිම දුරස්ථභාවය පවතින ලෙස අසුන් ගත යුතු වෙයි.

රාජ්‍ය සේවකයින්ට සිය වාර ප්‍රවේශ පත්‍ර මගින් ගමන් කළ හැකි අතර ඒ සදහා මාර්තු මාසයේ ලබා ගත් වාර ප්‍රවේශ පත්‍රය ඒ සදහා භාවිත කළ හැකි බව මගී ප්‍රවහණ කළමණාකරන අමාත්‍යංශය පැවසුවේය.

අත්සොදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය බස් රථ හා දුම්රියවල සපයන අතර අනවශ්‍ය පුද්ගලයින් පොදු ප්‍රවහන සේවාවන් ගමන් කිරිම වැළැක්වීම සදහා ආරක්ෂක අංශවල සහය හිමිවන බවද අමාත්‍යංශය සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මගී ප්‍රවහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීම මහතා මේ බව සඳහන් කළේය.

මෙම වැඩපිලිවෙළ යටතේ අද සිට ඇදිරි නිතිය ලිහිල් කරන දිස්ත්‍රික්ක ආශ්‍රිතව බස් රථ 4700ක සංඛ්‍යාවක් ධාවනයට යෙදවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංග්සිලි රණවක මහතා පැවසුවේය.

අද දිනයේ දුම්ර්ය 04ක් ධාවනයට යොදා ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.