ඇන්තූරියම් තොගයක් රේගුවේ හිරවෙයි

0
212

ඇන්තූරියම් මල් පැළ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, බත්තරමුල්ල සහ මාතර යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 49 ක් සහ 23 ක් වන ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් මෙම මල් පැළ තොගය මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි.

අදාළ පුද්ගලයින් දෙදෙනා ඊයේ(04) මධ්‍යම රාත්‍රීයේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි තායි ගුවන් සේවයට අයත් ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

පොලිතීන් මලු වල බහා, තම ගමන් මලු තුළ අසුරා ගෙන තිබූ, රුපියල් ලක්ෂ පහක් වටිනා මෙම ඇන්තූරියම් මල් පැළ තොගයේ මල් පැළ 798 ක් තිබූ අතර, ඔවුන් ඒවා රැගෙන ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ඇති විධිවිධාන අනුව, දෙරටේ කෘෂිකර්ම බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව මේ ආකාරයට මෙම පැළෑටි මෙරටට ගෙන ඒම නීතිවිරෝධී වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.