ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 455ක ණයක්

0
383

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී තිබේ.

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ (17දා) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකා මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කෙරිණි.

මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ‍්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලූනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි.

එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක‍්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදීමට ද එකඟතාවය පළ වී තිබේ.

මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපතිවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා මහතා අතර අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.